ගරු තිස්ස බාලසූරිය පියතුමා
වසර 11ට පෙර ගරු තිස්ස බාලසූරිය පියතුමා මියගියේ අද වැනි දිනකය -11th death anniversary of the founder of the Centre for Society and Religion (CSR- both Colombo and Negombo), author of the controversial books of 'Mary and Human Liberation'(1990), 'Sri Lanka Economy in Crisis' (1981), 'Eucharist and Human Liberation' (2004), well-known Liberation Theologist, qualified Economist and well known human rights activist, Rev. Father Tissa Balasuriya - තිස්ස බාලසූරිය පියතුමා යනු ලාංකික කතෝලික සභාව තුල යුක්තිය සහ සාධාරණත්වය උදෙසා ක්‍රියා කරනා ලද එඩිතර පුරෝගාමි පියතුමෙකු වශයෙන් හැඳින්විය හැක. මෙරට සමාජය දැඩි පීඩනයට පත් කල 71 කැරැල්ල, 80 වැඩ වර්ජනය, 83 කළු ජුලිය වැනි අඳුරු යුග වලදී වින්දිතයා වෙනුවෙන් එතුමන් සිදු කරනා ලද මැදිහත් වීම බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අතිශය ප්‍රසංශනීය වේ. එතුමන් විසින් මෙහෙයවන ලද කොළඹ ඩීන්ස් පාරේ සමාජීයිය සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion (CSR) පීඩාවට පත් වූවන්ට, සමාජ වෙනසක්, ප්‍රගතියක්, අපේක්ෂා කරන්නවුන්ට කදිම නිවහනක් විය. අද ද පාස්කු ප්‍රහාරයේ සත්‍යය මතුකර ගැනීමට සහ යුක්තිය සොයායෑමේ ගමනේදී සමාජීයිය සහ සාමයික කේන්ද්‍රය දක්වන දායකත්වය ආතීතයේදී තිස්ස බාලසූරිය පියතුමා යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙන්වා ලූ අභීත මැදිහත්වීම නැවත නැවතත් යාථාවත් කරලයි.
ගරු තිස්ස බාලසූරිය පියතුමා වසර 1924 අගෝස්තු මස 29 දින විලියම් සහ වික්ටෝරියා යුවලට දාව අනුරාධපුර කහටගස්දිගිලිය ගමේ උපන්නේය. සිය මුලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විදුහලෙන්ද, යාපනය සාන්ත පැට්‍රික් විදුහලෙන්ද, ලබා ගත් පසුව සිය ද්වීතීක අධ්‍යාපනය ලදුයේ කොළඹ සාන්ත ජෝසප් විදුහලෙනි.
ඉගනීමේ දක්ෂයකු වූ තිස්ස බාලසුරිය තරුණයා අනතුරුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු විය. ඒ වනවිට ඔහු දාහත්වන වියේ පසුවිය. වයස විසි එකේදී ඔහු අර්ථ ශාස්ත්‍රඥයකු ලෙසින් ලංකා විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ 'ඛාන්ස්' රන් පදක්කමද දිනා ගනිමිණි. 1945ක් වූ එම වසරේදීම ඔහු පුජකයකු වීම සඳහා පුහුණුවට ඇතුලත් විය.
පුජකවරය සඳහා පුහුණුවන සමයේ රෝමයේ ග්‍රෙගෝරියානු විශ්ව විද්‍යාලයෙන් දර්ශණවාදය සහ දේවධර්මය උගත් අතර අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ කෘෂි ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ධනවාදය ප්‍රවර්ධනය කරනා ආකාරය ගැන කලකිරීමට පත්වූ මෙම තරුණ පුජක සිසුවා ඉන් ඉවත්ව ප්‍රංශයේ කතෝලික විද්‍යාථනයේ (Institut Catholic) සහ පැරිස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලදුයේය.
මෙලෙසින් ලද උසස් අධ්‍යාපනය හේතුවෙන් වසර 1960 පමණ වන විට එතුමන් ඇරිස්ටෝටලියානු දර්ශනවාදය (Aristotelian philosophy) සහ තෝමියානු දේවධර්මවාදය (Thomas theology) සදහටම අත්හල බව පසුකලෙක පවසා ඇත. එතුමන් විසින් සම්පාදිත කෘති සහ ලිපි ප්‍රමාණය දහසකට ආසන්නය.
තිස්ස බාලසුරිය පියතුමාගේ ජීවිතය ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් තුල ගත කළේය. ඉන් පළමුවැන්න වූ ඇක්වයිනස් විද්‍යාලයට 1953 වසරේදී ලේඛකාධිකාරී වශයෙන් බැඳුන එතුමන් වසර 1953 දී එහි ප්‍රධාන අධ්‍යක්ෂක පියතුමා බවට (Rector) පත් විය. බාලසුරිය පියතුමන්ගේ පාලන කාලයේදී ඇක්වයිනස් ආයතනය විශාල දියුණුවක් ලදුයේය. ආයතනයේ විෂය ධාරාවට තාක්ෂණය, ව්‍යාපාර අධ්‍යනය, නීතිය සහ කෘෂිකර්මාන්තය ඇතුලත් පාඨමාලා එක් කෙරිණ. එතුමන්ගේ කාලයේදී ගාමිණි දිසානායක, වාසුදේව නානායක්කාර, ලුෂන් රාජකරුණා වැනි පසු කලෙක ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් ඉගෙනුම ලදහ.
වසර 1971දී එතුමන් ඇක්වයිනස් විද්‍යාලයෙන් ඉවත්ව සමාජයික සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion) පිහිටවූහ.
නිර්භය සමාජ ක්‍රියාකාරිකයෙකු වූ එතුමන් 1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණ ඝාතනයට එරෙහිව නැගී සිටි අතර ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තරුණයින් වෙනුවෙන් පෙනී සිටියේය. 1971 තරුණ මර්දනයත් සමග සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ගොඩනගා තරුණයින්ගේ අයිතීන් වෙනුවෙන් හා සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරිමටද පියතුමා දායක වූවේය. සූරිය වික්‍රමසිංහ, ඩෙස්මන් ප්‍රනාන්දු, චාල්ස් අබේසේකර, බර්නඩීන් සිල්වා වැනි අය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය (ප්‍රජා අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය) තුළ ක්‍රියාත්මක වූහ. එපමණක් නොවෙයි මාර්ග ආයතනය, සුබෝධී ආයතනය වැනි ආයතන සමගද එක් වී වැඩ කටයුතු කිරීමට පියතුමා ක්‍රියා කළේය.
විමුක්ති දේව ධර්මය ගොඩනැගීමට දායකත්වය ලබාදෙමින්, 1976 දි විමුක්ති දේව ධර්ම ක්ෂේත්‍රයේ කීර්තිධරයින් වන ගුස්ටාවෝ ගුටියරේස්, සර්ජීයේ ටොරස් වැන්නවුන් සමග එකතු වී ජාත්‍යන්තර මට්ටමින් විමුක්ති දේව ධර්මය ප්‍රචලිත කිරිමේ වැඩ පිළිවෙලක කොටස්කරුවෙකු වීමට ද පියතුමා ක්‍රියා කළේය. ජිනිවා හී පැවති සමුළුවක දි ලතින් ඇමරිකානු දේව ධර්මචාර්යවරු සමාජ විප්ලවය ගැනත් අප්‍රිකානු දේව ධර්මාචාර්යවරු සංස්කෘතික උරුමයන් ගැනත් වැඩිබර තබද්දි තිස්ස බාලසූරිය පියතුමා එකී කතිකාව පොදුවේ බටහිරින් තුනිවෙනි ලෝකය පුරා කළ විවිධ ආකාර විනාශයන් ගැන සිතමින් තුන්වෙනි ලෝකයේ දෙව්දහමක් ගැන අවධානය යොමු කරමින් අප්‍රිකා, ලතින් ඇමරිකා ආසියා දෙව්දහම පොදු හමුවකට ගෙන ඒමට කටයුතු කළේය. ඒ අනුව තුන්වෙනි ‘ලෝකයේ දේව ධර්මාචාර්යවරු’ නැමැති සංවිධානය බිහිවිය.
ගරු ලක්ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා මුල්කරගෙන ආසියානු දේව ධර්ම සම්මේලනය සංවිධානය කිරීමටද බාලසූරිය පියතුමා දායක වන්නේය. බොහෝ අවස්ථාවලදි ලෝක සාමජ සමුළුවේ විමුක්ති දේව ධාර්මික අංශය මෙහෙයවීමටද පියතුමා දායකත්වය ලබාදුනි.
එලෙසින්ම 1980 මහා වැඩවර්ජනයේදි වැඩ අත්හළ සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේය. ජාතික සමගිය උදෙසා සහ ආගමික සමගිය වෙනුවෙන් එතුමන් මැදිහත් විය. 1983 කළු ජූලියේ වින්දිතයන් වූ දමිල ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද එතුමන් නිර්භයව නැගී සිටියහ.
කතෝලික සභාවේ ප්‍රකට පැවිදි විද්වතෙක් වශයෙන් සභාවේ දේවධර්මික ඉගැන්වීම් ඇසුරින් යුක්තිය සහ සාධාරණත්වය පිලිබද හරය මූලධර්මික වැදගත්කමකින් මතුකරලීමේ කාර්යකට උරදී සිටි එතුමා දේවධර්මික වශයෙන් මෙන්ම ශාස්ත්‍රීය වශයෙන් ද වැදගත් ලිපි ලේඛණ රාශියක් පලකර තිබුණි. එහි කුටප්‍රාප්තිය ලෙසින් එතුමන් විසින් සම්පාදිත "මරියා සහ මානව විමුක්තිය" (Mary And The Human Liberation) කෘතිය නම් කළ හැක. එම කෘතියේ ඉදිරිපත් කළ කරුණු කෙතෙක් විවාදාත්මක වූයේ ද යත් ලංකා කතෝලික සභාව විසින් වතිකානුවට කරුණු ඉදිරිපත් කර එම කෘතිය තහනම් කරනු ලැබුවා පමණක් නොව එතුමාගේ පූජකවරය තහනම් කිරීමටද, සභාවෙන් නෙරපා හැරීමටද (Excommunicate) විශාල උත්සහයක නිතර විය.
එය ජාත්‍යන්තර මට්ටමේ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් බවට පත් විය. තහනම නිසාම තිස්ස බාලසූරිය පියතුමාගේ "මරියා සහ මානව විමුක්තිය" (Mary And The Human Liberation) පොත පිලිබදව මෙන්ම, තිස්ස බාලසූරිය පියතුමා පිලිබදව ද, එතුමාගේ දේවධර්මික ඉගැන්වීම්, ශාස්ත්‍රීය ප්‍රවේශයන් සහ ආගමික අර්ථ කථනයන් සම්බන්ධයෙන් ද, සමාජ සාධාරණත්වය වෙනුවෙන් වූ එතුමාගේ ප්‍රගතිශීලී කාර්‍යභාරය පිලිබදව ද ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමුවිය. වතිකානුව විසින් සිදුකල නිසි විමර්ෂණයකින් අනතුරුව පොතේ තහනම ඉවත් කර, එතුමාව පූජකවරයෙන් නෙරපීමේ සම්ප්‍රදායිකවාදීන්ගේ උත්සාහ ද, පරදවන ලදි. එහිලා රට තුළ මෙන්ම, රටින් පිටත, ප්‍රගතිශීලි කිතුනුවන්, දේව ධර්මාචාර්යවරුන්, විවිධ තරාතිරමේ පියතුමන්ලා, රදගුරුවරු සහ කාදිනල් වරු තිස්ස බාලසූරිය පියතුමා වෙනුවෙන් පෙරට පැමිණෙන ලදි. එම උත්සාහයන් වල ප්‍රතිපල නිසාම එතුමාගේ පූජකවරයා තහනම් කිරීම් හෝ කතෝලික සභාවෙන් නෙරපා හැරීම සිදු නොවිණි.
ඒ වෙනුවට සිදුවූයේ මෙරට, පිටරට, විශ්වීය, කතෝලික සභාව තුල එතුමාව අද්විතීය අවධානයකට සහ නිබද පිලිගැනීමකට ලක්වීමය. එහෙත් ඒ සියල්ල තුල එතුමා කිතු දහමේ මුලිකාංග තුල ජීවත් වෙමින්, සරල චාම් දිවිපෙවෙතක් ගත කරමින්, සමිදුන් ඉදිරියේ සැබෑ කිතුනුවෙකු මෙන් සාක්ෂි දැරීමය.
එතුමාට මොක්සුව අත් වේවා!!